ගාසාවේ සිටින මාධ්‍යවේදීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ආහාර සපයා ගැනීමට නොහැකි වීම පිළිබඳව බීබීසී පුවත් සහ ප්‍රමුඛ ප්‍රවෘත්ති ආයතන තුනක් දැඩි කනස්සල්ල පළ කර තිබේ.
ගාසාවේ සිට ගැටුම පිළිබඳව වාර්තා කරන පිරිස දැන් සාගතයට මුහුණ දෙන අතර "ඔවුන් විසින් ආවරණය කරනු ලබන ජනතාවගේ තත්ත්වයට ම" පත්ව ඇතැයි බීබීසී පුවත්, ඒජන්ස් ෆ්‍රාන්ස්-ප්‍රෙස් (ඒඑෆ්පී), ඇසෝසියේටඩ් ප්‍රෙස් (ඒපී) සහ රොයිටර්ස් යන ආයතන ඒකාබද්ධව නිකුත් කළ ප්‍රකාශයක සඳහන් විය.
"මාස ගණනාවක් පුරා මෙම ස්වාධීන මාධ්‍යවේදීහු ලෝකය සඳහා ගාසාවේ දෙඇස් සහ දෙසවන ලෙස කටයුතු කළහ", එහි සඳහන් වේ.
ඊශ්‍රායලය බීබීසී ප්‍රවෘත්ති ඇතුළු විදේශීය මාධ්‍යවලට ගාසා වෙත මාධ්‍යවේදීන් යැවීමට ඉඩ නොදෙන බැවින් ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතන ගාසා තීරයේ දේශීය වාර්තාකරුවන් මත යැපෙයි.
ගාසාවේ මහා සාගතයක් ඇති වන බවට ජාත්‍යන්තර ආධාර සංවිධාන සහ මානව හිමිකම් කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවක් අනතුරු අඟවා ඇති පසුබිමක මෙය සිදුවේ.
සම්පූර්ණ ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ: "ගාසාවේ සිටින අපගේ මාධ්‍යවේදීන් ගැන අපි දැඩි ලෙස කනස්සල්ලට වෙමු, මන්ද ඔවුන්ට තමන් සහ තම පවුල් සඳහා ආහාර සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙනි.
"මාස ගණනාවක් පුරා මෙම ස්වාධීන මාධ්‍යවේදීහු ලෝකය සඳහා ගාසාවේ දෑස් සහ දෙසවන ලෙස කටයුතු කළහ. ඔවුන් දැන් ඔවුන් විසින් ආවරණය කරනු ලබන ජනතාවගේ තත්ත්වයට ම පත්ව ඇත.
"යුද්ධ කලාපවල වාර්තා කටයුතුවල නිරත වන මාධ්‍යවේදීහු බොහෝ අගහිඟකම් සහ දුෂ්කරතා විඳදරා ගනිති. සාගිනි තර්ජනය දැන් ඉන් එකක් වීම ගැන අපි දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිමු.
"මාධ්‍යවේදීන්ට ගාසාවට ඇතුළු වීමට සහ ඉන් පිටතට යාමට ඉඩ දෙන ලෙස අපි නැවත වරක් ඊශ්‍රායල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. ප්‍රමාණවත් ආහාර සැපයුම් එහි ජනතාවට ළඟා වීම අත්‍යවශ්‍යයි."
වෙනත් ඒකාබද්ධ ප්‍රකාශයකින්, Médecins Sans Frontières (MSF), Save the Children සහ Oxfam, ඔවුන්ගේ සගයන්ගේ සහ ඔවුන් සේවය කරන පුද්ගලයින්ගේ "ශක්තිය ක්‍රමයෙන් හීන වෙමින්" පවතින බව පැවසීය.
නමුත් ගාසා වෙත සැපයුම් ඇතුළු වීම පාලනය කරන ඊශ්‍රායලය, ආධාර සංවිධාන "හමාස් සංවිධානයේ ප්‍රචාරණයට සේවය කරන" බවට චෝදනා කරයි.
ගාසාහි හමාස් සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව, ඉරිදා සිට පලස්තීන ජාතිකයින් 45 දෙනෙකු මන්දපෝෂණය හේතුවෙන් මිය ගොස් තිබේ.
මාස දෙකක සටන් විරාමයකින් පසුව, මාර්තු මස මුලදී ගාසා තීරයට ආධාර සැපයීම ඊශ්‍රායලය විසින් වළක්වන ලදී.
ආසන්න වශයෙන් මාස දෙකක කාලයකින් පසු අවහිරය අර්ධ වශයෙන් ඉවත් කරන ලද නමුත් ආහාර හා ඖෂධ හිඟය උග්‍ර වී තිබේ.
ගාසා මානුෂීය පදනම (GHF) විසින් පවත්වාගෙන යනු ලබන මතභේදාත්මක නව ආධාර පද්ධතියක් ස්ථාපනය කිරීමට එක්සත් ජනපදය සමග එක්ව ඊශ්‍රායලය උපකාර කළේ ය.
සති අටකට පෙර GHF ආධාර මධ්‍යස්ථාන ක්‍රියාත්මක වීම ආරම්භ කළ දා සිට ඒ අවට ඝාතන සිය ගණනක් වාර්තා වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ, ගාසාහි ජනගහනයෙන් හතරෙන් එකක් සාගතයකට සමාන තත්ත්වයන්ට මුහුණ දී සිටින බවයි.
බදාදා එහි අධ්‍යක්ෂ ටෙඩ්‍රොස් ඇඩනොම් ගේබ්‍රියේසස් මෙසේ පැවසීය: "සමූහ සාගතයක් හැර ඔබ එයට කුමක් කියයි ද කියා මම දන්නේ නැහැ, එය මිනිසුන් විසින් කරන ලද්දක්."
"ඒක හරිම පැහැදිලියි, මේක වෙලා තියෙන්නේ අවහිර කිරීම නිසා."
Lanka Newsweek © 2025